දිල්ලියේදී ක්‍රිකට් ක්‍රීඩකයින් විෂ දුමෙන් පීඩාවට පත්වීමට බලපෑ හේතු ගැන මීට වඩා අවධානය යොමුවිය යුතු බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යතුමිය පවසයි.

නවදිල්ලියේදී පැවති ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ක්‍රිකට් ක්‍රිඩකයින්ට විෂදුමෙන් බලපෑම් සිදු වූ බවත් මෙම පාරිසරික අවදානම් තත්වය ගැන මීටවඩා අප සියලුම දෙනාගේ අවධානය යොමුවිය යුතු බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

ක්‍රිඩකයින් ක්‍රිඩාකරන විට පිරිසිදු වාතය ස්වසනය කිරීම ඉතාම වැදගත් කරුණකි. නමුත් මුඛවාඩම් දමාගෙන ක්‍රිඩා කිරීමට සිදුවේනම් එය මොනතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද කියා ප්‍රශ්න කරන නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරන්නේ දිගින් දිගටම පරිසර දූෂණය සිදු වුවහොත් තව නොබෝදිනකින් ශ්‍රී ලංකාව තුළද මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි. එම නිසා තිරසර සංවර්ධනයක් වෙනුවෙන් කැපවීමට දැන් සිටම මුළු රටම අධිෂ්ඨාන කරගතයුතු බවද සුමේධා ජී. ජයසේන මහත්මිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මොණරාගලදී පැවති තිරසර සංවර්ධනය පිළිබඳ මොණරාගල දිස්ත්‍රික් වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ, තිරසර සංවර්ධන උපදේශක උචිත ද සොයිසා, අතිරේක ලේකම්(තිරසර සංවර්ධන) එම්. එම්. එස්. බී. යාලේගම, අධ්‍යක්ෂ (තිරසර සංවර්ධන) ප්‍රදීප් සපුතන්ත්‍රි, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පද්මකුලසූරිය, ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසැල් විදුහල්පතිවරුන්, මොණරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම තිරසර සංවර්ධන දිස්ත්‍රික් වැඩමුළුවට සහභාගී වූහ.