ලෝක ළමා දින සැමරුම් උත්සවය සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී.

හතලිස් දහසකට අධික පිරිසක් ඔක්තොම්බර් 01 වැනි දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹා තිබෙන බවත් ඉන් තිස්තුන්දහසක්(33000) පාසැල් දරුවන් බවත් දාහත් දහසක් (17000) වැඩිහිටියන් බවත් ඊයේ දිනය තුළ රුපියල් ලක්ෂ 17කට ආසන්න ආදායමක් හිමි වී තිබෙන බවත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තොරතුරු වලින් වාර්තාවේ.

ලෝක ළමා දින සැමරුම් උත්සවය ක්තොම්බර් 01 වැනි දින දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්වුණේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එදින සියළුම පාසැල් දරුවන්ට නොමිලේ ඇතුළුවීමටත් දරුවන් වෙනුවෙන් විවිධ තරඟ, විනෝද ක්‍රිඩා ඇතුළු වැඩසටහන් රැසක් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සංවිධානය කර තිබුණි.

ඊට අමතරව පාසැල් ගණනාවකින් විවිධ නර්තන ඉදිරිපත් කර තිබුණු අතර අලි නැටුම් ඇතුළු සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහිත ප්‍රසංගවලටද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. විවිධ තරඟවලින් ජයග්‍රහණය කරනලද දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද නියෝජ්‍ය අමාත්‍යවරිය අතින් සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ රට භාරගැනීමට සිටින දරුවන් වෙනුවෙන් එක් දිනයක් පමණක් නොව අවුරුද්දේ සැම දිනයක්ම සුවිශේෂිව යොමු කළ යුතු බවයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී යන මහත්මීහු ඇතුළු කාර්ය මණ්ඩලය, පාසැල් දරුවන්, මවිපියෝ, ගුරුවරු ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.